Thursday, August 1, 2013

තිස්පස්වෙනි කොටස : සුදු නෙලුම්



කැළණි පන්සල බස්සිගෙයි බස්සගෙයි ජීවිතත් එක්ක ගොඩාක් ලොකු බැඳීමක් තියෙන තැනක්. ගෙදර යන්න බැරි වෙන හැම පෝය නිවාඩුවකටම වාගෙ බස්සයි බස්සියි කැළණි පන්සල් වඳින්න යන්න අමතක කරන්නෙ නෑ.

හුඟක් වෙලාවට බස්සටයි බස්සිටයි කැළණි යන්න පෝය නිවාඩු ඕනෙත් නෑ.

කැම්පස් එකේ ඉඳන් පන්සලට තියෙන පැය භාගයකටත් අඩු කාලයක ගමනට බස්සි හරිම කැමතියි. ඒ බස්සගෙ අතේ එල්ලිලා හුරතල් වෙවී නිදහසේ කිච්බිචි ගගා කියවකියවා යනකොට කාලෙ ගතවෙනව නොදැනෙන නිසා.

"අද මොන මල්ද පූජා කරන්නෙ?"

පන්සලේ ගේට්ටුව ගාවදි බස්සා බස්සිගෙන් හැමදාම මේ ප්‍රශ්නෙ අහනව. ඒ හැම වතාවෙදිම බස්සි සුදු නෙලුම් කූඩෙට අත දික් කරනව.

දෝත පිරෙන්නම් මල් අරගෙන බස්සි ආඩම්බරෙන් පඩිපේළිය නගිනව.

සුදු නෙලුම් වලට පැන් ඉහින තැන බස්සි විනාඩි දහයක්වත් නතරවෙනවා. කැළණිය කියන්නෙ සෞම්‍ය දේශගුණයක් තියෙන පළාතක් නෙවෙයි. දවාලට ගිනිගහන අවුව. පැන් ඉහින්න හදාපු වතුරමල් වලින් ඉහළ නගින වතුර බිංදු මූණට වැටෙනකොට අමුතුම සිසිලසක් දැනෙනව.

"වතුර නාන්න තියාගත්ත නේද ඒ පාර?" බැරිම තැන බස්සා බස්සිගෙ අතින් ඇදගෙන පූජා මලුවට එක්කන් යනවා.

බස්සා පැන් ඉහපු නෙලුම් මල් එකින් එක නටුව කඩලා බස්සිගේ අතට දෙනවා. වෙහෙරටයි, බෝධියටයි මල් පූජා කරලා දෙන්නත් එක්ක විහාරෙට ගිහින් බුදුන් වඳිනවා. බස්සත් බස්සි එක්ක හරිහරියට බිම වාඩිවෙලා ගාථා කියනවා.

පහන් වැට ළඟට යන්න නම් බස්සි ටිකක් අදිමදි කරනවා. දාස් ගානක් පහන් පත්තුවෙනකොට දැනෙන රස්නෙට බස්සිගෙ ඇස් දෙක පියවෙනවා. බස්සා වීරයා වගේ පහන් වැට මැද්දටම ගිහින් පහන් පත්තු කරනවා. එතනින් එලියට එනකොට බස්සගෙ නළලෙ දාඩිය බිංදු දිළිසෙනවා.

බස්සි බෝධි මලුවෙ කොනක ඉඳගෙන ඇස් දෙක පියාගෙන මොනවද හෙමින් හෙමින් තොල් මතුරනව. බස්සා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒත් කවදාවත් බස්සි කිවුවෙ මොනවද කියලා අහන්නෙ නම් නෑ.

ඉන් පස්සෙ බස්සයි බස්සියි හෙමින් හෙමින් පඩිපෙළ බැහැගෙන පූජා මලුවෙන් පිට වෙනවා.

පඩිපෙළ බැහැපු වෙලාවෙ ඉඳන් බස්සිට හරිම හදිස්සියි. ගමනේ හොඳම කොටස ආරම්භ වෙන්නෙ දැනුයි. ඊළඟ කොටසින් ඒ ටික කියන්නම් හොඳේ.


2 comments:

  1. කතාව දිගට ලියනවාකෝ බස්සියේ... රෑ 12 ට විතර එන්නේ ටිකක් වැඩිපුර කියවන්න බලාගෙන නොවෑ....
    නියම කතාව. මමත් යන්ට ඕනේ කම්පොෂ්.. ගිහිං හොයා ගන්නවා හොඳ නෙළුම් මලක්. හැබැයි කැලණියේ නෙමෙයි හන්තානේ අපි නගින්නේ.. :D

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. වැඩට ගිහින් එද්දි රෑ හතහමාර අට විතර වෙනව බෙනෝ, මාන්සී නොවැ.

      බස්සිත් කැම්පොශ් එකේ බැචාලත් එක්ක හන්තානෙ නැග්ගා. ඒ කාලෙ බස්සාව අඳුනන්නෙ නෑ නෙව. බස්සා එතකොට දෙක වසරෙ අයියා-උත්තමයෙක් නෙ. හන්තානෙ ගිය කතාව මතක් කොරපු එකට තැන්කූ හොඳේ..... ඒකත් දවසක ලියන්ට ඕනෙ.

      Delete