Friday, August 29, 2014

ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය (තාත්තා ලියූ ලිපියක්)










සීදූව, අමන්දොළුව මහා විද්‍යාලයය ප්‍රදේශයේ ඉතා කීර්තිමක් විද්‍යාලයයකි.  ඇවරිවත්ත පාරම්පරික වෙද පරපුරක් වන කුමාරසිංහ වෙද පරපුරෙහි ඉතාමත් කීර්තිධර වෛද්‍ය උත්මයෙකු වන රන්සිරි කුමාරසිංහ මැතිතුමන් විසින් ප්‍රදේශයේ දරු දැරියන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිළිණ කළ මෙම විද්‍යාලයය එදත් අදත් ඉතාමත් ආදර්ශමත් විද්‍යාලයක් ලෙස හඳුන්වාදිය හැකියි.  එකළ පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තිය ලෙස හුන්වන ලද නව වන පන්තියේ සිට අ.පො.ස. (උසස්) පෙළ දක්වාම මෙම ගෞරවණීය පාසැල් මාතාවගෙන් අධ්‍යාපනය ලබන්නට මාද පින්කර තිබූ බව සහන් කරනුයේ ඉතාමත් භක්තියෙන් හා ආදරයෙනි.



වසර හතළිස් හතරක් තරම් දිගු කාලයකට පසු නැවතත් අමන්දොළුව මහ විදුහල් මෑණියන් ගේ මව් සුව වි ගන්නට අගෝස්තු මස 02 වන දින ආදි සිසු පරපුරට වාසනාව උදාවුනා.  ඒ විදුහලෙහි විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, වත්මන් සිසු කැලත්, ආදි ශිෂ්‍ය සංගමයත් එක්වී පවත්වන්නට යෙදුනු ගුරු උපහාර උළෙල නිසා.



විදුහලෙහි සේවය කොට විශ්‍රාම ගොස් තිබූ ගුරු මව් පියවරුද, විදුහලෙහි සේවය කොට මාරුවීම් ලැබ වෙනත් පාසැල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරු මව්පියන්ද ඇතුළු සියයක් පමණවූ ගුරු පරපුරක් වෙත බැතිඋපහාර පුද කළේ කළගුණ සැළකීම යන උතුම් ගුණාංගය සිහි ගන්වමින් හා වත්මන් පරපුරට ආදර්ශයක් ද ලබාදෙමින්.



උපහාර උළෙලට පැමිණි ආරාධිත ගුරු භවතුන් හෘදයංගමව පිළිගෙන පළමුව ඔවුන් වෙත තේපැන් සංග්‍රහයක් පවත්වා ඉන්පසු ඔවුන් මුල්බෙර හ මැද, දර්ශණීය නැටුම් සහිත පෙරහැරකින්, රතු පලස මතින් උත්සව ශාලාව වෙත කැවා ගෙන ගියේ ආදි සිසු සිසුවියන් විසින් තම භක්ත්‍යාදරය පිළිගන්වමින්.  මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැද ආරම්භ වූ උත්සවය කතෝලික පියතුමන්ගේ දේශණාවන්ගෙන් ද ආශිර්වාද ලැබුවා.



කටුනායක බෝධිරතනාරාමයේ අධිපති, අමන්දොළුව මහ විදුහලෙහි ආදි ශිෂ්‍ය, පූජ්‍ය පාද අමන්දොළුවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් මෙම විදුහලෙහි අගය පහදා දෙමින් කළ මාහැඟි දේශණය සියළු දෙනාගේ හදවත් ගුරුබැතියෙන් පුබුදුවාලීමට සමත්උනා.  ගිහි පැවිදි හරවත් දෙසුම් රැසකට සවන් යොමු කරන්නට බොහෝ කලකට පසු එදින අපට අවස්ථාව ලැබුණා.  මේ අතර ගුරු බැති උපහාර තිළිණ පිරිනැමීමද සිදු කළ අතර එදා යෝධ ශක්තියෙන් මෙම වේදිකාව මත හැසිරුණු ගුරු පියවරු අද වියපත්ව සැරයටි අතැතිව ආදි සිසුන්ගේ වාරුවෙන් වේදිකාවට ආ හැටි ඉතාමත් සංවේදී දර්ශණයක් වුනා.



දෙසුම් අතර තුර පාසැල් නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කළ දර්ශණීය රංගන හා සංගීතාචාර්යතුමිය ඉදිරිපත් කළ කර්ණ රසායන ගායනා සියල්ලන් සැනසුමට පත් කළා.



උපහාර පිදීමෙන් පසු ආරාධිත ගුරු භවතුන් වෙත, ආදි සිසු සිසුවියන් වෙත හා උත්සවයට පැමිණි සියළු දෙනා වෙත ප්‍රණීත දිවා ආහාර සංග්‍රහයක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුණා.  ඇත්තෙන්ම සියළු දෙයින් සම්පූර්ණ වූ මනස්කාන්ත උළෙලක් අපට එදා දැකගන්නට විගන්නට අවස්ථාව සැළසුණා.



ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා මාස හතරක් වැනි සුළු කාලයක් තුල සංගමයේ ප්‍රථම යෝජනාව වූ ගුරු උපහාර උළෙල මනා සංවිධානයකින් පැවැත්වීමට වත්මන් විදුහල්පති, සරත් කුමාරතුංග මැති තුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණේ විශාල කැප කිරීමකින්.  වත්මන් සිසු පරපුර මෙම උත්සවය සාර්තක කර ගැනීමට ප්‍රශංසනීය දායකත්වයක් ලබා දුන් බවද පෙනී ගියා.  ආදි සිසු සංගමයේ උත්සව සංවිධානය කමිටුවද තම ශ්‍රමය, ධනය හා කාලය කැප කරමින් ඉතාමත් විශිෂ්ඨ සේවයක් උපරිමයෙන්ම සිදු කර තිබුණා.  එමෙන්ම විදුහලේ ආදි සිසුන් වු ප්‍රදේශයේ ගෞරවාන්විත තනතුරු හොබවන සහෝදර පිරිසක් මෙම උත්සවය සහා තම අනුග්‍රහය භක්ති පූර්වකව ලබාදී තිබුණා.



මෙම සියළු දෙනා වෙනුවෙන් ස්තුතිය පුද කිරීම අපගේ යුතුකමක් යයි හැඟුනා.  එදින රාත්‍රියේ මෙම පින්බර උළෙල නැවත නැවතත් සිහිපත් කරද්දී සටහන් වූ මෙම පැදි කිහිපය ඉහත සහන් කළ සියළු දෙනාටත්, ආදරණීය ගුරු මව් පිය සියළු දෙනාටත්, උත්සවයට සපැමිණි සහෝදර ආදී සිසු සිසුවියන්ටත්, මගේ ආදරණීය විදුහල් මාතාවටත් උපහාරයක්ම වේවා.











අමන්දොළුව මහ විදුහල් අම්මා බැතියෙන් නමදිමි

ඒ පින්බිම පින්බර බව පසුගිය ශනිදා දුටුවෙමි
ගුරු බැතියෙන් පිරුණු හදින් ඇදුරු දෙපා යුග වැන්දෙමි
ඔබ සැම වෙත තුති නොපිදුවහොත් වරදක් යැයි සිතුවෙමි


ආදි සිසුන් එකමුතු කොට ගෙවුනේ මාසද හතරකි
ගුරු බැති උපහාර උළෙල එහි කුළුඳුල් සිතුවිල්ලකි
ඒ සිතුවිලි ඔප් නැංවී මැවුනේ පින්බර උළෙලකි
එය මෙහෙයූ විදුහල්පතිතුමා සැබෑ නායකයෙකි


ගුරු සවියයි සිසු බැතියයි ආදි සිසුන්ගේ බලයයි
එකමුතුවී කළ පින්කම පෙර ගුරු දෙවිඳුන් සනසයි
මෙවන් දූ පුතුන් ලද මගෙ විදුහල් මව පින්වන්තයි
විදුහල් ඉතිහාස පොතේ මෙය රන් අකුරින් ලියැවෙයි


පැවිදි දේශනාවන්ගෙන් මහා සභා ගැබ පිබිදුනි
ගුරු භවතුන් හා මැතිඳුන්ගේ දෙසුමන්ගෙන් සැනසුනි
විදුහල් සිසු කැලගේ රංගනයෙන් සැම කුල්මත් වුනි
පැය හතරක් ගතව ගියාදැයි කිසිවෙකුටත් නොදැනුනි


ගීත ගයනවාය කියා බෙරිහන්දී හඬා වැටෙන
යුගයක කන් කරච්චලෙන් සවන් අගුල් වැටී තිබින
ගීතය ගීතයක් ලෙසින් දෙසවන් සනසවා ගයන
ඇදුරුතුමියට ද වෙසෙසින් තුති පුද කළ බව කියන්න


මඟුල් බෙර හඬින් නැටුමෙන් සැදුනු පෙරහැරෙන් බැතියෙන්
ආදි ඇදුරු කැල පෙරටුව ගෙන ගොස් රතු පලස මතින්
ගුරු බැති උපහාර පුදා සැනසුව පසු සංග්‍රහයෙන්
සැම දෙන හද සැනසුන බව දැනුනා මුව හසරැල්ලෙන්


සමුගන්නට සුදානම් වී ඇත ගුරු මව් පියවරු
දැකගන්නට ලැබුනා යළි බැතින් දෙපා වඳින අයුරු
අප දරුවන් ලෙස සිටි කල අපට ශිල්ප දුන්නු අයුරු
සිහිවී හද සසල වෙමින් නෙතින් ගලති කඳුළු සයුරු


කුරුල්ලන්ට ගහ කොළ හා සියළු සතුන් වෙත නිරතුරු
ආදරය පුදන්නට නිති සැමට කියා දුන් ගුරුවරු
ජීවිතය කුමක්ද කියා අපට ඉගැන්වූ දෙවිවරු
සැරයටියේ පිහිට සොයනු දැක නෙතුයුග තෙමෙන අයුරු


හාත්පස පුරා බැලුවෙමි අප ලද ම විරාමයෙන්
එදා තිබූ අඹගස් කජුගස් නැති බව දැනුන හෙයින්
වෙන්වී සිව් සතළස් වසරකි එනමුදු හැඳිනගමින්
පෙර තිබු සුදු අරලිය ගස් ඇත මා හා හිනාවෙමින්


පාසැල් බිම සුදු අරලිය මල් පිපුනෙත් ඔබ නිසාය
ඒ මල් කෙමි තුල සුවඳැති රොන් පිරුනෙත් ඔබ නිසාය
ලොව දස දෙස ඒ සුවඳින් සුව උනෙත් ඔබ නිසාය
ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය






-ප්‍රේමරත්න පලිහවඩන-   






තාත්තා ලියූ තවත් ලිපියක්



තාත්තාගේ බ්ලොග් අඩවිය



තාත්තා ගැන මම ලියූ ලිපියක්









Tuesday, August 26, 2014

අයිස් බාල්දියට ගොම දැමීම (Ice bucket challenge)







මොකක්ද මේ අයිස් බකට් අභියෝගය?


අයිස් බකට් අභියෝගය හෙවත් ALS Ice bucket challengeහි නිර්මාතෲ 2014 – 08 -16 දා මෙලොව හැර ගිය  කෝරි ග්‍රිෆින් (Corey Griffin). ඔහු මේ සංකල්පයට පණ පොවන්නේ amyotrophic lateral sclerosis (ALS) කියන ස්නායුක රෝගයෙන් පීඩා විඳ මිය ගිය තමන්ගේ හොඳම මිතුරා වෙනුවෙනුයි.


ඇත්තෙන්ම ALS Ice bucket challenge ආරම්භ වෙන්නට කලිනුත් මේ අභියෝගයම වෙනත් රෝග වලට  පුණ්‍යාධාර එක්රැස් කිරීමට භාවිතා කලා. 2013 – 2014 කාලයේදි එය හැඳින්වුනේ සීතල වතුර අභියෝගය (cold water challenge) නමින්. 



අයිස් බාල්දියටත් රීති?


අයිස් බකට් අභියෝගය කියන මේ පුණ්‍යාධාර රැස් කිරීමේ සුන්දර සංකල්පය වෙනුවෙන් නිර්මාණය වූ රීති කිහිපයකුත් තියෙනව. නීති නොවෙයි, රීති පමණයි.


1.
අභියෝගය භාරගත් පුද්ගලයා අභියෝගය ලබාගෙන පැය විසිහතරක් ඇතුලත අයිස් වතුර නාන දර්ශනය රූගත කර #ALS Ice bucket challenge ටැග් එක යටතේ යූ ටියුබ් වෙත මුදා හැරිය යුතුයි. නොහැකි වුනොත් ඩොලර් සියයක පරිත්‍යාගයක් අදාළ අරමුදලට බැර කල යුතුයි.


2.
අභියෝගය භාරගත් පුද්ගලයා අයිස් වතුර නාන දර්ශනය රූගත කරන අතරේ තවත් තිදෙනෙක්ට එම අභියෝගය යොමු කල යුතුයි. නොහැකි වුනොත් ඩොලර් සියයක පරිත්‍යාගයක් අදාළ අරමුදලට බැර කල යුතුයි.


3.
අභියෝගය භාරගත් පුද්ගලයා අයිස් වතුර නෑමෙන් පසුව ඩොලර් දහයක් (හෝ කැමති ගණනක් ) අදාළ අරමුදලට බැර කල යුතුයි.




එතකොට මොකද්ද මේ ALS?


මේ රෝග තත්වය ගැන විස්තර මමත් හොයා ගත්තෙ “සොඳුරු සුව අසපුව” බ්ලොග් අඩවියේ පළවුන බොහොම විස්තරාත්මක ලිපි ද්විත්වයකින්.





ALS (amyotrophic lateral sclerosis) කියන්නෙ අපේ ස්නායු පද්ධතිය විනාශ කරමින් , අප දැනුවත්වම  ටිකෙන් ටික මරණය කරා රැගෙන යන අවාසනාවන්ත රෝග තත්ත්වයක්. අවාසනාවකට මේ රෝගය ඇතිකරන රෝග කාරකය කුමක්දැයි තවම සොයාගෙන නැහැ.


ALS රෝගයේදි ඖෂධ ප්‍රතිකාර වලින් රෝගියාව සම්පූර්ණයෙන් සුව කල නොහැකියි. ඉතින් මේ රෝගය සම්බන්ධව දිගින් දිගටම පර්යේෂණ සිදුකෙරෙන බව අමුතුවෙන් කියන්න උවමනා නැහැනෙ.



අයිස් නාන්නෙ සල්ලි නොදී බේරෙන්නද?


පහුගිය දවස්වල අපේ සමහර ෆේස්බුක් වීරයො කියපු දෙයක් තමයි ලංකාවේ අයිස් නාපු අය එහෙම කලේ අදාල අරමුදලට මුදල් බැර කිරීමෙන් වැලකෙන්න කියන එක. ඇත්තටම එහිදී වෙන්නෙ ඇඟ බේරා ගැනීමක් නොවෙයි.

මේක දාම ක්‍රියාවලියක්. ඒ කියන්නේ අභියෝගය භාර ගැනීම තුලින්ම දාමය පුළුල් කිරීමට ලොකු දායකත්වයක් සැපයෙනව.

මම පහල පින්තූරයෙන් පෙන්වන්න උත්සාහ කලේ එක පුද්ගලයෙක් අයිස් බකට් අභියෝගය භාරගෙන ඩොලර් දහයක් බැර කිරීම නිසා දින පහක් ඇතුලත අරමුදලට බැරවෙතැයි උපකල්පනය කල හැකි ආධාර ප්‍රමාණය.




අනිත් අතට එක පුද්ගලයෙක් අයිස් බකට් අභියෝගය බාර නොගැනීමෙන් මේ මුදල දවස් පහක් ඇතුලත ඒ අරමුදලට අහිමි වෙනවා.



ඇයි අපිට බැරි?





ඇයි අපිට බැරි? අයිස් වතුර නාන්න නෙමෙයි. මේ වගේ විනෝදාත්මක සංකල්පයක් අපේම කරගන්න. අපේ රටේ අසරණ මිනිස්සුන්ට ආධාර කරන්න.


අපිට ඒක කරන්න බැරි නෑ. මුහුණු පොතේ දැනට ආරම්භ කරල තියෙනව මේ සංකල්පයේ ආභාෂය රැගත් සුපිරි වැඩක්. 


ඒ තමයි “SL අමු මිරිස් චැලෙන්ජ්”.




මම දන්න තරමින් වැඩේට පළමු පියවර තියල තියෙන්නෙ රසික නානායක්කාර සහෝදරයා (රනා අයියා). වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලා ගන්න පුලුවනි.





අමු මිරිස් කන්නත් නීති?

ඔව්, ඔව්. මෙච්චර වටින අමු මිරිස් කන්න රීති නොදා පුලුවන්ද?


චැලේන්ජ් එක අමු මිරිස් කරල් තුනක් මිනිත්තු දෙකකදී කාලා ඉවර කරන එක.


ඔබට පුළුවන් ඔබ දන්න හඳුනන  5 දෙනෙක්ට චැලේන්ජ් කරන්න. ඔවුන් චැලේන්ජ් එක භාරගත්තොත් මේ වැඩසටහන සඳහා වෙන අරමුදලට රුපියල් 100/= කින් දායක වෙන්න ඕනේ


චැලේන්ජ් එක භාර නොගත්තොත් වකුගඩු රෝගී අරමුදලට රුපියල් 1000/=ක් පරිත්‍යාග කරන්න ඕනේ.




අපිත් කරමු ද වෙනසක්?


අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ පන්සලකට දානයක් දුන්නම හාමුදුරුවන්ට කියල සියලු දෙව් මිනිස් සැප කෙලවර (ඔව්, සේරම සැප විඳල විඳලා) අමා මහ නිවන් සුව ලබන්න ආශිර්වාද ගන්න. ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට දානයක් දීල එතන පාලිකාව ඔරෝගෙන ඉන්න අතරෙ ඉදිරියට එන අසරණ මනුස්සයෙක් කියවන පින් අනුමෝදනා වාක්‍ය පපුව ඉස්සරහට කරගෙන ආඩම්බරෙන් අහන් ඉන්න.


අනේ සුන්දර හදවත් ඇති මිනිසුනේ, අපිත් කරමුද වෙනසක්? මිනිස්සු වෙනුවෙන් තවත් මනුස්සයෙක් විදියට කරමු උදවුවක්.


අපි විනෝදෙන් ඔවුන් වෙනුවෙන් මුදල් එකතු කරන විදිය දැකල හිනැහේවි ඔවුනුත්. ඒ බව මට විශ්වාසයි.







Thursday, August 21, 2014

වඳයි? (12 +)





දිනය කවදාදැයි හරියටම මතකයක් නැහැ.  අපි  සතිඅන්තයේ ගෙදර ගිහින් ඉරිදා හවස තාත්තාගේ නිල නිවාසයට පැමිණෙමින් හිටියෙ. ඊට සති කිහිපයකට පෙර තාත්තාගේ මිතුරෙක්ගේ පුතෙක්ගේ හදිසියේ වියෝ වීම ගැන කතා කරමිනුයි අපි ආවේ.


ඔහු වෘත්තියෙන් මැවිසුරුවෙක්. මගේ වචනාර්ථයන්ට අනුව නම් “කියුට්,බ්‍රයිට්  කොල්ලෙක්.” විවාහ වී වසර දෙකක් ගතවී තිබුනත් දරුවන් නැති වීම නිසා ඔහු ගේ බිරිඳ උන්නේ මහත් කණස්සල්ලෙන්. වෛද්‍ය උපදෙස් ලබාගන්නට යා යුතු බව පවසමින් ඈ ඔහු ට දිගින් දිගටම ඇවිටිලි කලා.


නමුත් ඔහු ට ඒ සඳහා වෙලාවක් තිබුනේ නැහැ. 


අවසානයේ ඔහු ගේ බිරිඳ තනිවම වෛද්‍ය උපදෙස් සොයා යනවා. එතැනදි දැනගන්නවා ඇයට දරුවෙක් බිහි කිරීමට කිසිදු නොහැකියාවක් නොමැති බව. ඈ පර්යේෂණ වාර්තාද සමග නිවසට එනවා.


එදින සවස ඔහු නිවසට පැමිණි පසු ඈ නැවතත් ඇවිටිලි කරන්නේ වෛද්‍ය උපදෙස් ලබාගෙන අදාළ පරීක්ෂණ සඳහා යොමුවන ලෙසයි. ඔහු ගේ ප්‍රතික්ෂේප කිරීම් නිසා උණුසුම් දෙබස් හුවමාරුවක් ඇතිවෙනවා.


එදින රාත්‍රියේ ඔහු නිවසින් පිට වෙනවා. නිවසට තරමක් දුරින් පිහිටි ගඟක පාවෙමින් තිබූ ඔහු ගේ සිරුර සොයා ගන්නෙ පසුවදා උදේ. . . .






නැවත නැවතත් ඒ දුක්බර සිදුවීම ගැන කතා කරමින් පැමිණුන අපි තාත්තලාගේ කාර්යාලයට ළඟා වෙනවා. මොහොතකට කාර්යාලය අසල නවත්වන්නැයි කී අම්මා ඉක්මනින් එන බව පවසමින් ඇතුලට ගියේ අතපසු වී එහි දමාගොස් තිබූ යමක් රැගෙන ඒම පිණිසයි. එවිට අපි ඔහුව දකිනවා.


ඔහු තරමක් දුරින් පිහිටි කොරිඩෝවක් අතුගාමින් උන්නා. ඔහු තරමක් මෝඩ පහේ, විසුලු චරිතයක්. කාර්යාලයේ සුලු සේවකයෙක්. බොහෝ අවස්ථාවලදී ඔහුගේ අනුවණ හැසිරීම් සහ විසුළු ඉරියව් අපේ මුවගට හිනාවක් ගෙනාවා.


එක්වරම හිස ඔසවා බැලූ ඔහු අපේ වාහනය නවතා තිබෙනු දුටුවා. කොස්ස අසල වූ තරප්පු පේලියට හේත්තු කල ඔහු පිම්මේ අප දෙසට දුවගෙන ආව. ඒ අමුතු දිවිල්ල නිසා මමත්, නංගිත් මුහුණට මුහුණ බලා, සිනහව පිටවෙන්නට නොදී අමාරුවෙන් සිරකර ගත්තා.


දිවිල්ල නතර වුනේ තාත්තා අසලදියි.


“මහත්තයල කොහේ යන ගමන්ද?”

“අහ්. . . අපි මේ ගමේ ඉඳල එන ගමන නේ.”


“මහත්තය අපි ‘තැම්පත් කලා’ මහත්තය.”

“තැම්පත් කලා? ඒ කියන්නෙ?”


තාත්තා ළඟට තවද ලං වූ ඔහු රහසින් මෙන් මොන මොනවාදෝ කිවුවත් මට එය ඇසුනේ නැහැ. හැබැයි ඔහුගේ දෑස් දිලිසුනා.


පසුව තාත්තා පැවසූ පරිදි ඔහු සැලකිය යුතු කාලයක් මදසරු භාවයට බෙහෙත් ගත්තත් පලක් වී නැහැ. දරු සුරතල් බලන්නට ආසාවෙන් ඔවුන් තීරණය කරන්නේ කෘතිමව ශුක්‍රාණු තැන්පත් කිරීමක් සිදු කරන්නයි.


මදින් මද ඔහුගේ හඬ උස් වෙයි.


“ටිකක් වියදම් ගියා මහත්තෙය. ඒ උනාට සල්ලි වගේද දරු පැටියෙක් කියන්නෙ නේද? දරුවෙක් නැත්නම් සල්ලි ඉතුරු කලාට වැඩක් නෑ මහත්තෙය.”

කඩිනම් ගමනින් පැමිණෙන අම්මා වාහනයට ගොඩවෙයි.


“අපි ගිහින් එන්නම් එහෙනම්.” තාත්තා පවසයි.


“හොඳයි මහත්තය. මම නම් අද හවසත් වැඩ.”

“අරක හරි යයි නේද මහත්තෙය?” 


ඔහුගේ දෑස් දැල්වෙයි. සැහැල්ලු සිනහවකින් ඔහුගේ උරහිසට තට්ටුවක් දමන තාත්තා රිය පණගන්වයි.



මේ සිදුවීමට දැන් වසර කිහිපයක් ගතවෙලා. හදිසියේම මට මේක මතක් වුනේ අහම්බෙන් අතපත් වූ පවුල් ප්‍රතිසංවිධාන සමීක්ෂණයක දත්ත පත්‍රිකා කිහිපයක් නිසයි.





එතැනදී මගේ අවධානය යොමු වුන එක පුංචි කාරණාවක් කියන්නම්. දරුඵල නොමැති වීමට පිළියම් වශයෙන් මූලික ප්‍රතිකාර සඳහා යොමුවී ඇති සිංහල පවුල් සංඛ්‍යාව සාපේක්ෂව අතලොස්සක්. හෝර්මෝනමය නික්ෂේපණ පතිකාර සඳහා යොමුවෙන ගණන ඊටත් අඩුයි. කෘතිම සිංචනය සහ වෙනත් කෘතිම පිළිසිඳීම් සඳහා යොමුවී තිවුනේ ඉතාම සීමිත පිරිසක්.


අනිත් කාරණය තමයි එම ප්‍රතිකාර සඳහා යොමුවෙන සිංහල දෙමාපියන්ගේ වයසත් සාපේක්ෂව ඉතා වැඩියි. 
නමුත්, අනිත් ජාතීන් මේ සඳහා යොමුවීම් ප්‍රමාණාත්මකව ඉතා සාධනීය මට්ටමක පවතිනවායැයි හිතුනා, ඒ දත්ත වලට අනුව.

මේ ගැන තව හොයන්න හිතුනා. කියවන්න හිතුනා. වැදගත් දේ වෙතොත් විස්තරාත්මක ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා.





එතකන් මට කියන්න තියෙන්නේ එක දෙයයි.


සිංහලයිනි, පය බරවායට පිටිකර බේත් බැඳලා පලක් නැහැ.




Wednesday, August 20, 2014

2. ශාක්‍යාගේ කතාව - [ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?]


පළමු කොටස මෙතනින්






ෂිට් ! මොන මෝඩ, බූරු, හරක් යාලුවෙක්ද මට ඉන්නෙ. ආයෙනම් කතා කරන්නෙ නෑ එක්ක.


නෑ නෑ නෑ නෑ නෑමයි.


මම දන්නවද ලැප්ටොප් තෝරන්න. අනික අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහේම කඩ කඩා හදන කලබල පාරවල්වල ඩ්‍රයිව් කරන එකම මොන කට්ටක්ද ! මම නම් ආය ඔය මෝඩ අනුශ්කයට කතා කරන්නෙ නෑ හයි ටෙකි ටෙකි උපදෙස් ගන්න.


ඔව් අනුශ්ක තමයි මගෙ හොඳම යාලුවා. ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිදකවුද දන්නෑ ඒකට තහංචි දැම්ම ඒජන්ත උන්නාන්සෙ ! පුහ් !


මොනව උනත් මීට කලින් උදව්වක් ඉල්ලපු හැම දවසකම අනුශ්කයා බෙල්ල කඩාගෙන හරි ආවා. ඌ හිත හොඳ එකා. හැබැයි අද ඔය මැටි අලගෙඩියා කරපු වැඩේට මට පට්ටම තරහයි. තරහයි, තරහයි, අනන්තවත් තරහයි.  මම කොහොමද තනියම ටැබ් එකක් තෝරගන්නෙ. මම දන්නවද ෂොප් එකේ ඉන්න කොල්ලො ටික උඩ පැන පැන දෙන මාර්කටින් ටෝක් වලට උත්තර බඳින්න. නෑනෙ.  මට මැවිල පේනව ලැප් එකේ ෆීචර්ස් ගැන කියවද්දි මම මෝඩ තකතීරුවෙක් වගේ ඇස් ගෙඩි දෙක ඩොගිත්තගෙන බයවෙලා අහන් ඉන්න හැටි.



දැන් කරන්න දෙයක් නෑනෙ. පාකින් ස්පොට් එකක් හොයාගන්න එක තමයි සේරටම වඩා එපාකරපු වැඩේ. ආපහු හරවගෙන යන්නත් හිතෙනව. 


එක්කො ඕනෙ නෑ. මම තනියම ගිහින් වීරය වගේ ලැපක් අරන් එනව, ඇවිත් අනුශ්කයට පෙන්නනව ලොකු සීන් දාල. 


දැන්, වද්දගන්නෙ නැතුව සීරුවට රිංගවමු. සයිඩ් මිරර් ගලවන්න එපා දෙපැත්තෙ වාහන වල මොට්ට මෝඩි. ආන්න එහෙම. ටේක් ඉට් ඊසි. . . .

හම්මේ. . . . . මිෂන් එකේ පළමු කොටස හමාරයි.



මම කඩිනම් ගමනින් යුනිටි එකට ඇතුලු උනා.  දැන් මම යන්න ඕනෙ මොන ෆ්ලෝ එකටද? ඒකත් අහගන්න වෙන්නෙ අර මැට්ටගෙන්මනෙ. මේ වෙලාවෙ මොන මොන සීන් වෙනවද දන්නෙ නෑ. කෝල් කරල ඒකගෙ ෆන් එක කඩන්නෙ මොකටද. ඔන්නොහෙ ටෙක්ස්ට් එකක් දාමු.


-- floor eka ewapam --


== ශාකි උඹ කොහෙද ඉන්නෙ? මොන ෆ්ලෝ එකක්ද? මං මේ බස් එකේ  ==



මෙන්න ඒ ගමන මූ වයිබර් ඇවිත්. මලසමයම. ෂුවර් එකටම මූ ක්‍රෂ් එක යන බස් එකට නැගල දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වාගෙ ඒකි දිහා බලබල ඔහේ යනව ඇති. මොනව කරන්නද කරුමයක් තියනවනම් ගෙවන්නත් එපැයි.


ඉහල මාලයට දිවෙන එස්කැලේටර් එක පටුයි. හතරවටේට පටි හැටක් විතර එල්ලෙන මේ කෙහෙල්මල් සපත්තු දෙක එක්ක ඇවිදින එක නම් මාර කරුමයක්. ඒත් මොනව කරන්නද, ලස්සන නිසා ඉවසන්නම වෙනව. අනික මං ඒ හැටි උසත් නෑ නෙ.



අහ්, අනුශ්කයාට රිප්ලයි කලේ නෑනෙ.

-- මම ඉන්නෙ යුනිටි එකේ මැට්ටෝ. --

== එහෙනම් තර්ඩ් ෆ්ලෝ එකේ ලැප්ටොප් වර්ල්ඩ් එකේ බලපන්. ඒකෙ ඉන්නව කලු කෙට්ටු උස ඩයල් එකක්. මගෙ නම කියපම් එතකොට ඌ හෙල්ප් කරයි ==

-- ඕන්නෑ මට උඹේ මහලොකු යාලුවො. මම තනියම හොයාගන්නම් --


දෙවන මාලයට ගොඩ වෙලා මම එතනම හිටගෙන අනුශ්කට රිප්ලයි කරන්න ගත්තා. එස්කැලේටර් එකෙන් ඉහල මාලයට ගොඩවුනු සිය ගානක් සෙනග ඉස්සරහට, පස්සට, වමට, දකුණට ඇවිදගෙන ගියෙ මහා හදිස්සියකින්. මම එතැනම හිටගෙන ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක විකාරයක් වගේ පේනවද මන්දා.



ඒත්, මේ මොකද වෙන්නෙ.

මාව වැටෙයි. මේ සෙනග ගොඩේ වැටුනොත් වස ලැජ්ජාව.

අපොයි දෙවියනේ. . . . . !!

කොරිඩෝව හෙමි හෙමින් ඉදිරියට ගමන් කරනව. මම කලින් වතාවෙ එනකොට මෙහෙම සීන් එකක් තිබුනෙ නෑනෙ. හරි. කොළඹ හැමදේම දවසට දෙකට වෙනස් වෙනවනෙ මේ ද්වස්වල. වැදගත්ම දේ සිහිකල්පනාවෙන් ඉන්න එක, මං කියන්නෙ මේ, වැටෙන්නෙ නැතුව බැලන්ස් එක තියාගන්න එක.


ඉදිරියට ගමන් ගත්තු කොරිඩෝව සම්බන්ධ වෙන්නෙ තවත් එස්කැලේටර් එකකට. යුනිටි එකේ උන්ටත් පිස්සුද කොහෙද. හරිනෙ, මේකට එන්නෙත් අපේ අනුශ්කයා වගේ ටෙකි ටෙකි පිස්සොනෙ.


-- මචන් මෙන්න උඹේ රාජධානියෙ ෆ්ලෝ වලට පිස්සු හැදිලා. හතරවටේ එස්කැලේටර් හයි කරල විනාසයක් කරල. --

මාව තව පොඩ්ඩෙන් මේ ලී කොට ෂූස් දෙකත් එක්ක බිම. යාන්තම් තර්ඩ් ෆ්ලෝ එකට පැන ගත්තා. 
යමු බලන්න ඉස්සරහට.


වෝව් ! මිනෝන් අක්කිගෙ වෙඩින් එකේ ෆොටෝස් වගයක් එෆ්.බී. ශෙයාර් කරලා. බලමු.

හාපෝ බයි කලර් සාරි. පට්ට චාටර්. කවුද දන්නෙ නෑ මේව ඩිසයින් කලේ. කොලපාටයි, කහපාටයි.   අපේ ආච්චි දැක්කනම් කියයි එළහරකයි මීහරකයි වගේ කියල.


ඇත්තටම මගෙ වෙඩින් එකට මම මොන පාටද අඳින්නෙ ? හ්ම්ම්. . . මම නම් තීම් කලර් එකට ගන්නෙ ස්කයි බ්ලූ. රෝස පාටත් නරකම නෑ.


වැඩිපුර ලස්සන මුහුදු නිල් පාට එක්ක සී තීම් එකකට වෙඩින් එක ගන්න එකද
නැත්නම් රෝස පාටයි, ලා දම් පාටයි එක්ක බටර්ෆ්ලයි තීම් එකකට වෙඩින් එක ගන්න එකද?


අනේ මට ගෑනු ළමයෙක් හොඳම යාලුව කරගන්න තිබුනනම් මේ සේරම කතා කරගන්න තිබුනා. උන්ගෙ කරුමෙකටද නැත්නම් මගේ කරුමෙකටද මන් දන්නෑ මගෙ යාලුවො වැඩිහරියක් කොල්ලො.


මේ වෙලාවෙ මේ කතාව අනුශ්කයට කිවුවනම්.

"අනේ මැටි හරකි. වෙඩින් එක ප්ලෑන් කරන්න ඉස්සරවෙලා ඔය යාලුවෙන්න අහන එකෙක්ට හා කියල බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගනින්.

ඔන්න ඕක තමයි මට අහගන්න වෙන්නෙ.


ඉතින් ඌ එක්ක එතනින් එහාට තවත් මොන කතාද ! පස්සෙන් වැටීගෙන ආදරේ හිඟාකන්න එන කොල්ලො මටනම් එපාවෙලා. මට ඕනෙ වෙනස් විදියක කොල්ලෙක්. සැහැල්ලුවෙන් හිතන, කෙල්ලො ඉස්සරහ වැඳ වැඳ චාටර් වෙන්න යන්නෙ නැති, මාව උනත් සත පහකට මායිම් නොකරන, හැබැයි එයා වෙනුවෙන් ජීවිත කාලයක්ම උනත් බලාගෙන ඉන්න හිතෙන. . . .


කෝ මේ මනුස්සය කියපු ලැප්ටොප් වර්ල්ඩ් එක. මම පිස්ස වගේ කොහෙටද මේ ඇවිත් තියෙන්නෙ.


ශාකි උඹ නම් නොම්මර එකේ පිස්සියෙක්.



වාව් !  අර මොකක්ද අර කෙලවරේම තියන පාට පාට ලස්සන ෂොප් එක ! 



WORK  YOUR  MAGIC


අනුශ්කයා කිවුවෙ ලැප්ටොප් වර්ල්ඩ් ෂෝ රූම් එකෙන් මේ සාප්පු පේලිය ඉවරයි කියලනෙ. අනේ ඒක දන්න ඉට්ට. ඇතුලට යමු බලන්න.



මම දැකලවත් නැති මාර ගැජමැටික්ස් ගොඩක්නෙ මේකෙ තියෙන්නෙ. ෆෝන් එකට ඕනෙ ඇක්සසරීස් ඔක්කොම තියෙනව මෙතන.


මේක නම් සුපර් කූල් !!!


අර එහාපැත්තෙ ලැප්ටොප් එකක් අතේ තියන් ඉන්න කොල්ල මගෙ දිහාද බලන්නෙ. හප්පේ මිනිහගෙ කොණ්ඩෙ නිකම් කපුටු කූඩයක් වගේ. මම බලාගෙන ඉන්නව දැක්කොත් හරි නෑනෙ. අතන කෙලවරේම තියන රාක්කෙ පිටිපස්සට ගියාම එහාපැත්තෙ තියන උස මිරර් එකෙන් එයාව පේනව. කොහෙද ඉතින්, මේකෙ ඉන්න ඒජන්ත උන්නාන්සෙල කියන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එකත් මහා වැරැද්දක්. විනාසයක් කියලනෙ. මමනම් ආසයි කෙලින් බලන්න. ඒත් ඉතින් මූ මොන ජාතියෙ සතෙක්ද කවුද දන්නෙ. ඇරත් මම ඉන්නෙත් තනියම.


හිහිහි, මරු කොණ්ඩෙ අප්පා. අවුරුදු ගානකින් පනාවක් දැකල නෑ වගේ. එයා  ලැප්ටොප් එක බලන්න නැමෙනකොට කොණ්ඩෙ ඇවිත් ඇස් දෙකට වැටෙනව. එයා දිහා බලන් ඉන්න ආසයි.

රැවුලත් තැනින් තැන අපිළිවෙලට වැවිල. මෙයාටනම් කෙල්ලෙක් නෑ, මට ඒක හොඳටම ෂුවර්.


මම මොකටද ආවෙ. ටැබ් එකක් ගන්නනෙ. කතාකරන්න ඕනෙ අතන හේත්තුවක් දාගෙන ඉන්න යුනිෆෝම් ඇඳපු උස කොල්ලට.


එක්ස්කියුස් මී. . . දම් පාට හරි රෝස පාට හරි ටැබ් තියෙනවද ?”


මොකද්ද මිස් ?”


දම් පාට හරි රෝස පාට හරි ටැබ් ?”


මෙන්න ඒ ගමන ඒ මනුස්සයා මා දිහා බලනව පුදුම වෙලා වගේ. එයාගෙ ඇස් කොලපාටයි. මම කොලපාට ඇස් වැඩියෙ දැකල නෑ. ඇස් දෙක තඩි කරන් මා දිහා බලන් හිටපු ඒ මනුස්සය ඊගාව මොහොතෙ එකපාරම හිනාවෙන්න ගත්තා.


මිස්ට ඕනෙ මොනවගේ මොඩ්ල් එකක්ද ?”


මම ඕක යූස් කරන්නෙ එෆ්.බී., ස්කයිප්, වයිබර්, එතකොට ඔය කැන්ඩි ක්‍රශ් වගේ පොඩි පොඩි ගේම් වලට, තව ෆිල්ම් එකක්, ටී.වී. සීරීස් එකක් බලන පුලුවන් විදියට. මොඩ්ල් නම් අනේ මන්දන්නෑ අනේ. ආ. . . බැට්‍රි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.


හුරතල් පාට චූටි ටැබ් එකක් තිවුනා අත ළඟම. හැබැයි ඒක කලු පාටයි.


මේකෙ දම් පාට වගේ තියෙනවද ?”


හ්ම්ම්. . . ඕකෙ දම් පාට එන්නෙ නෑ මිස්. රතු පාට එනව, ඉන්න මම ස්ටොක් තියෙනවද බලන්නම්.

මදැයි. මට හිත යන මොඩ්ල් එකක් තිවුනට ඒකෙ මට ඕනෙ කරන පාට නෑ. ඉතින් කොහෙද. බලමු රතු පාට එක කොහොමද කියල. ඇස් කඩාඅගෙන යන කැතම කැත රතුපාටක් නම් මට එපා ඔන්න.

අන්න ආපහු එනව අත් දෙක වනවනා. ඈත තියාම අත් දෙකයි තොල්දෙකයි නොපිට පෙරලල කිවුවෙ වෙන පාට නෑ මිස්කියල නේද. මොනව කරන්නද එහෙනම්.


කෝ අර කපුටු කූඩයා? කොහේ ගිහින්ද?

පේන්න නෑ. යන්න ගිහින් වගේ. එයා හිටියෙ මෙන්න මෙතන. මේ ලැප්ටොප් බලබලා උන්නෙ.

අහා. . . .  ලස්සන දම් පාට ලැප් එකක්. මම හොය හොයා ඉන්නෙ මේ පාටම ටැබ් එකක්.


මොකද්ද මිස් බැලුවෙ ? මේ අලුත්ම මොඩ්ල් එක MGC 77. මේ දැනුත් එකක් ගියා මේ තියෙන්නෙ ආපු අන්තිම එක. i7, 16GB රැම්, 1TB හාර්ඩ්, 2GB සෙපරේට් VGA, 15.6 LED ස්ක්‍රීන්. . . 

මෙයා ගිරවෙක්ද මන් දන්නෑ, කියාගෙන කියාගෙන යනව.


මේ. . . . ඒත් මම බැලුවෙ ටැබ් එකක්.

එහෙනම් මිස් මේක තමයි නියම මොඩ්ල් එක. මේක කන්වර්ටිබල් එකක්. කී බෝර්ඩ් එක අංශක 360ක්ම කැරකෙව්වැකි. මේ බලන්න මිස්. අලුත්ම මොඩ්ල් එක.

මෙහෙම ලැප් එක වගේ තියාගෙන වැඩ කරන්න පුලුවන්, මෙහෙම අනිත් පැත්තට ටෙන්ට් එක වගේ හරවලා ගේම්ස් ප්ලේ කරන්න පුලුවන්. මෙන්න මෙහෙම කී බෝඩ් එක පිටිපස්සට හැරෙවුවම මිස්ට ඕනෙ ටැබ් එක.


අන්න ඒක නම් මගෙ හිතට ඇල්ලුවා වගේ. පොඩි ඇඩ් එකක් දැම්මැකි ක්ලාස් එකේදි ඕක එහෙට මෙහෙට කරකවල.


ප්‍රයිස් එක කීයද ?”

නයින්ටි එයිට් තවුසන් වෙනව මිස්.


ඔන්න ඉතින් අන්තිමේදි මට මම හොය හොයා හිටපු විදියෙම ටැබ් එකක් ලැබුන. 

ලැප්ටැබෙක්. නෑ නෑ, ටැබ්ලැපෙක්. 

අයියට පෙන්නන්න ඕනෙ මගෙ අලුත්ම භාණ්ඩෙ. ඉරිසියා හිතෙයි උන්දැට. එයැයිටත් ඕනෙ වෙයි අලුත් ලැපක් අන්තිමට.

මම කාර් එකට ගොඩවුනේ අමුතුම සැහැල්ලුවකින්. මාර අවුවක්නෙ. අයිස්ක්‍රීම් එකක් කන්න හිතයි. යන ගමන් වැල්ලවත්ත පැත්තෙන් දාගෙන රියෝ එකට ගොඩවෙලා යන්න ඕනෙ.



 ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?







~~ මතු සබැඳි ~~